Tuesday, December 20, 2011

What is Software?

මෘදුකාංගයක් යනු මෘදු දෙයක් බව නමෙන්ම පසක් වුවත් මෘදුකාංගයක් ඇත්තටම මෘදුද යන්න විමසා බැලිය යුතු කාරණයකි. මෘදු යනු අල්ලා බැලිය නොහැකි භාවයයි. ලොව සියලු දෑ සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යන ධාතු වලිනි. එසේනම් මෘදුකාංග තුළද එම ධාතු තිබිය යුතුය. දෘඩ භාවය පඨවි ධාතුවේ ලක්ෂණයක්. මෘදුකාංගයකට භෞතික ස්වරූපයක් තිබේ. අද ලෝකයේ පවතින මෘදුකාංග වල භෞතික ස්වරූපය විදුලියයි. විදුලිය යනු නිදහස් ඉලෙක්ට්‍රෝන වේ. ඉලෙක්ට්‍රෝන සතුව ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ස්වරූප සියල්ලම ඇත. එනම් මෘදුකාංගයක් මෘදු නැති බව පෙනී යයි.

මෘදුකාංග පැවතිය හැක්කේ විදුලිය යන ස්වරූපයෙන් පමණමද?
එසේ නොවේ. නූතන පරිගණක හා ජංගම දුරකථන වල මෘදුකාංග විදුලිය ලෙස පවතී. ස්ථාවරව තැන්පත් කළ මෘදුකාංග, අණු තුළ චුම්භකත්වය ලෙස පවතී. එසේම මෘදුකාංග ස්ථානයකින් ස්ථානයකට රැහැන් රහිතව යැවීමේදී විද්‍යුත් චුම්බක තරංග ලෙස පවතී. 
එසේම අප ශරීරයේද මෘදුකාංග පවතී. ඒවාද ක්‍රියාකරන්නේ විදුලියෙනි. න්‍යුරෝන රැහැන් ලෙස ක්‍රියා කරයි. එසේම මෘදුකාංග තාපය ලෙසද, ආලෝකය ලෙසද, ශබ්දය ලෙසද, කම්පන ලෙසද පැවතිය හැක. තවත් බොහෝ ආකාර පැවතිය හැක. 
එසේම සිතෙහිද මෘදුකාංග පවතී. ඒවා පවතින්නේ භෞතික ආකාරයෙන් නොව විඤ්ඤාණ ස්වරූපයෙනි. ඒවායේ පඨවි ගුණාංගය නැති නිසා දෘඩ ස්වභාවයක් නැත. එසේනම් ඒවා සැබෑම මෘදුකාංග ලෙස පවතී. 

මෘදුකාංග මොකටද?
යම් සවිඤ්ඤාණික වස්තුවක් හෝ අවිඤ්ඤාණික වස්තුවක් පාලනය කිරීමට මෘදුකාංග අවශ්‍ය වේ. නිරිසතුන්, තිරිසනුන්, අමනුෂ්‍යයින්, මනුෂ්‍යයින්, දෙවියන්, බ්‍රහ්මයන් සියල්ලම සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යන ධාතු වලින් බැවින් ඒ සියල්ල සවිඤ්ඤාණික වස්තු වේ. සිත පාලනය කිරීමට සිත තුළ විඤ්ඤාණ ධාතුවෙන් සැදි මෘදුකාංග පවතී. මේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ වලින් යුක්ත වේ. අනිත්‍ය යනු නොපවතින ස්වභාවයයි. දුක්ඛ යනු දූෂණයට හා ක්ෂය වීමට ලක්වන ස්වභාවයයි. අනාත්ම යනු අපගේ පාලනයෙන් තොර වීමයි. එනම් ඒවාට ආත්මයක් නැත. තමා ලෙස ගත යුත්තක් නැත. සියලු මෘදුකාංග ස්වයංක්‍රීයව සිත හසුරුවයි. සිතට මෙන්ම කයටද මෘදුකාංග පවතී. ඒවා සිතෙහි මෘදුකාංග සමඟ සම්බන්ධව පවතී. තිරිසනුන් හා මනුෂ්‍යයින්ගේ මොළය, අත්, පා, ඇස්, කණ් වැනි සියලු අවයව න්‍යුරෝන වලින් සම්බන්ධව පවතී. මේවා පාලනය වන්නේ මූලික වශයෙන් මොළය හා වෙනත් ස්ථාන වල ඇති මෘදුකාංග වලිනි. ඒවා අණු ස්වරූපයෙන් තැන්පත් වී ඇති අතර දත්ත සම්ප්‍රේෂණයට ඉලෙක්ට්‍රෝන ධාරා භාවිත වේ. අමනුෂ්‍යයින්, දෙවියන්, බ්‍රහ්මයන් වැනි අයගේ ශරීර තුළ වෙනස් ස්වභාවයකට මෘදුකාංග පවතී.


එසේම අවිඤ්ඤාණික වස්තු සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ධාතු වලිනි. ඒවාටද මෘදුකාංග තිබේ. උප පරමාණුක අංශු වල දත්ත තැන්පත් වී ඇත. ඒවාද නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වේ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ මෙම මෘදුකාංග නිරීක්ෂකයා මත පදනම් වීමයි. මන්ද නිරීක්ෂකයෙක් රහිත වස්තු අර්ථ ශූන්‍යය. විවිධ ආකාර වලින් අවිඤ්ඤාණික වස්තු අවිඤ්ඤාණික වස්තු අතරද, සවිඤ්ඤාණික වස්තු සවිඤ්ඤාණික වස්තු අතරද, සවිඤ්ඤාණික වස්තු අවිඤ්ඤාණික වස්තු අතරද දත්ත සම්ප්‍රේෂණය වේ. මෙමගින් එක එකක් පාලනය කළ හැකි වේ. 

පරිගණක මෘදුකාංග කියන්නේ මොනවාද?
මිනිස් මොළය කෘත්‍රීමව තැනීමට උත්සාහ කිරීමෙන් යම් තරමකට ලැබුණු ප්‍රතිඵලය පරිගණකය ලෙස හැඳින්වේ. 
පරිගණකය දෘඩාංග හා මෘදුකාංග වශයෙන් කොටස් 2කි. දෘඩාංග විසින් මෘදුකාංගද, මෘදුකාංග විසින් දෘඩාංගද, මෘදුකාංග විසින් තවත් මෘදුකාංගද පාලනය වේ. දෘඩාංග කොටස් 3කි.
1) මිනිසා විසින් දත්ත ඇතුළත් කිරීමට යොදාගන්නා දෘඩාංග (යතුරු පුවරුව, රූපාකර්ෂකය, ශබ්දාකර්ෂකය, ක්‍රියාකර්ෂකය, තැටි ග්‍රාහකය)
2) අභ්‍යන්තර දත්ත හුවමාරුවන දෘඩාංග (ස්ථිර තැන්පතුව, අන්තර් තැන්පතුව, අන්තර් පාලකය, රූප පාලකය, ශබ්ද පාලකය)
3) නැවත මිනිසාට දත්ත ලබා දෙන දෘඩාංග (රූප දර්පණය, ශබ්දජනක, පින්තාරුකය, ආලෝක ප්‍රක්ෂේපකය)


මෘදුකාංගයකට ලබා දිය හැකි අර්ථකථනය කුමක්ද?
ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යන ධාතු වලින් කියවීමට හැකි රටාවකට සැකසුණු දෙයක් මෘදුකාංගයක් වේ.

ඊනියා බටහිර ලෝකයේ මෘදුකාංග වලට පදනම වී ඇත්තේ ද්විකෝටික න්‍යායයි. එනම් ඇත හා නැත ස්වභාවයයි. ඇත යන්න 1 ලෙසත්, නැත යන්න 0 ලෙසත් ගනී. මෙම 1 හා 0 උපයෝගී කරගෙන යම් නියමයකට අනුව නානාප්‍රකාර සංඥා තනා ඇත. සම්මතයක් ලෙස කොටස් 8ක් ගෙන විවිධ  සංඥා  තනා ඇත. කොටස් යන්න බිට් ලෙස කියමු. බිට් 8කින් වෙනස් අකාරයේ  සංඥා  256ක් සාදා ඇත. බිට් 8හි කොටස් 2ක් ගෙන බිට් 16කින් වෙනස්  සංඥා  65536ක් තනා ඇත. මෙලෙස බිට් 32, 64, 128 ලෙස ගෙන විවිධාකාර  සංඥා  රාශියක් සෑදිය හැකිය. අංක, විවිධ භාෂා වල අකුරු, වෙනත් සංකේත, විධාන ආදිය මෙලෙස බිට් ස්වරූපයට ගෙන ඇත.

අප දකින සවිඤ්ඤාණික හා අවිඤ්ඤාණික වස්තු වල දත්ත තැන්පත් වී ඇත්තේ චතුස්කෝටික න්‍යායට අනුව බැව් කියවේ. එනම් එහි අවස්ථා 4ක් ඇත.
1) ඇත යන්න සත්‍ය වීම හා නැත යන්න අසත්‍ය වීම.
2) නැත යන්න සත්‍ය වීම හා ඇත යන්න අසත්‍ය වීම.
3) ඇත හා නැත යන දෙකම සත්‍ය වීම.
4) ඇත හා නැත යන දෙකම අසත්‍ය වීම.
ආපෝ ධාතුවේ ලක්ෂණයක් වන භ්‍රමණය අනුසාරයෙන්, තේජෝ ධාතුවේ ලක්ෂණයක් වන කම්පනය අනුසාරයෙන්, වායෝ ධාතුවේ ලක්ෂණයක් වන චලිතය අනුසාරයෙන්, පඨවි ධාතුවේ ලක්ෂණයක් වන දෘඩ භාවය අනුසාරයෙන්, ආකාශ ධාතුවේ ලක්ෂණයක් වන ඉඩ අනුසාරයෙන් චතුස්කෝටික න්‍යායට අනුව දත්ත තැන්පත් වීම හා සම්ප්‍රේෂණය සිදු වේ.
විඤ්ඤාණ ධාතුවේ දත්ත තැන්පත් වන ආකාරය චතුස්කෝටික න්‍යායෙනුත් ඔබ්බට යන බව මගේ විශ්වාසයයි.

මිනිසා හා පරිගණකය අතර සම්බන්ධතාව ගොඩ නැගීම
මිනිසා සවිඤ්ඤාණිකය. පරිගණකය අවිඤ්ඤාණිකය. එනම් දෙකම සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ධාතු වලින් වන අතර මිනිසාට විඤ්ඤාණ ධාතුවද පවතී. දැනට ලෝකයේ ක්වොන්ටම් මට්ටමෙන් තැනූ පරිගණක නැත. එනම් එය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක. නූතන පරිගණකයේ කොටස් වෙන වෙනම සලකා බලමු.


යතුරු පුවරුව
මෙහි ඇඟිලිතුඩු වලින් එබිය හැකි යතුරු 100ක් පමණ ඇත. මිනිසාගේ භාවිතයට උපරිම පහසු වන අන්දමින් මෙහි යතුරු වල ප්‍රමාණ අනුපාතයන් හා පිහිටුම් ලක්ෂ්‍ය සකසා ඇත. මෙහි එක් යතුරක් එබීමෙන් එය තුළ ඇති විද්‍යුත් පරිපථයෙන් එම යතුරට අදාළ කේතයක් හටගනී. එනම් ඉලෙක්ට්‍රෝන ධාරාවක් පරිගණකය තුළට ඇතුළු වේ. එනම් යම් යම් කාල ප්‍රාන්තර තුළ රැහැන තුළ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වීම හා නැති වීමයි. හටගත් කේතය 10110001 ලෙස ගනිමු. නැනෝ තත්ත්පරයක් වැනි සුළු කාලයක් තුළ රැහැන තුළ ඉලෙක්ට්‍රෝන ඇති වේ. ඉන්පසු එවැනිම කාලයක් ඉලෙක්ට්‍රෝන නැති වේ. ඉන්පසු එවැනිම කාල ප්‍රාන්තර 2ක් ඉලෙක්ට්‍රෝන ඇතිව පවතී. ඉන්පසු එවැනිම කාල ප්‍රාන්තර 3ක් ඉලෙක්ට්‍රෝන නැතිව පවතී. අවසාන වශයෙන් එවැනි එක් කාල ප්‍රාන්තරයක් ඉලෙක්ට්‍රෝන ඇතිව පවතී. රැහැනේ අනෙක් කෙළවර පරිගණකයේ යතුරුපුවරු දත්ත හඳුනාගැනීමේ මධ්‍යස්ථානයට සම්බන්ධව ඇති බැවින් කාල ප්‍රාන්තර වල සිදුවන ඉලෙක්ට්‍රෝන ඇති වීම හා නැති වීම එමගින් කේතයක් ලෙස හඳුනාගනී.

ක්‍රියාකර්ෂකය නොහොත් මවුසයද, රූපාකර්ෂකය නොහොත් කැමරාවද, ශබ්දාකර්ෂකය නොහොත් මයික්‍රොෆෝනයද, තැටි ග්‍රාහකය නොහොත් සී.ඩී. රොම් එකද ක්‍රියාකරන්නේ මේ ආකාරයටමය.

ස්ථිර තැන්පතුව
ස්ථිර තැන්පතුව නොහොත් හාඩ් ඩිස්ක් එක දත්ත තැන්පත් කිරීම සඳහා යොදා ගැනේ. තැටිය කොටස් බිලියන ගණනකට වෙන් කර ඇති අතර ඒ ඒ කොටස් වල චුම්භක ඩ්‍රැවීයතාව උත්තර ධ්‍රැව මූලික හා දක්ෂිණ ධ්‍රැව මූලික යනුවෙන් වෙනස් කිරීමෙන් දත්ත තැන්පත් වේ.

අන්තර් තැන්පතුව (RAM), රූප පාලකය (VGA), ශබ්ද පාලකය (Sound card) ද දත්ත තැන්පත් කරන අතර ඒවා ස්ථිර නොවේ. විදුලිය පවතින තාක් දත්තද පවතී. ඒවා තැටි අකාරයකුත් නොවේ. විද්‍යුත් පරිපථ මිලියන ගණනකින් සාදා ඇත.

අන්තර්පාලකය
අන්තර්පාලකය හෙවත් ප්‍රොසෙසරයෙන් ගණනය කිරීම් සිදු වේ. තාර්කික ද්වාර රාශියකින් සැදි මෙය මගින් කළ හැක්කේ බූලියානු එකතු කිරීම් හා අඩු කිරීම් ය.

රූප දර්පණය
රූප දර්පණය නොහොත් ස්ක්‍රීන් එක මගින් සිදුවන්නේ එයට පරිගණකය තුළින් ලැබෙන කේත හෙවත් ඉලෙක්ට්‍රෝන ඇති හා නැති වීම් ආලෝකය බවට පරිවර්තනය කිරීමයි. යම් කාල ප්‍රාන්තර තුළ ලැබෙන දත්ත නොකඩවා එය තුළ ඇති බල්බ වලින් නිරූපණය කරයි.

ශබ්දජනක හෙවත් ස්පීකර, පින්තාරුකය හෙවත් ප්‍රින්ටරය, ආලෝක ප්‍රක්ෂේපකය හෙවත් ප්‍රොජෙක්ටරය මේ ආකාරයෙන්ම ක්‍රියා කරයි.

උදාහරණයක් සලකා බලමු.

මිනිසෙකුට සිතිවිල්ලක් ඇති වේ. සිතෙහි ඇති මෘදුකාංග මගින් එය වචනයක් බවට පරිවර්තනය කරයි. එම වචනය මොළය තුළට පැමිණ සකස් වී ඉලෙක්ට්‍රෝන ධාරාවක් මගින් අතෙහි ඇඟිලි තුඩු වලට ගමන් කරයි. ඇඟිලි තුඩුවල ඇති න්‍යුරෝන මගින් එම ධාරාව විශ්ලේෂණය කර මාංශ පේශීන් යම් ආකාරයට හසුරුවයි. එවිට ඇඟිලි තුඩුවකින් යතුරු පුවරුවෙහි K අකුර එබෙයි. එයද පෙර සඳහන් කළ පරිදි ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පරිවර්තනය වී පරිගණකය තුළට ගමන් කරයි. එය අන්තර් තැන්පතුවට ගොස් එහි පෝලිමක රැඳී සිටී. අන්තර්පාලකය එම දත්තය ක්‍රියාකිරීමට සුදුසු වේලාව පැමිණි කල්හි තිරයේ දර්ශකය හෙවත් පොයින්ටරය ඇති ඛන්ඩාංකය ගෙන මුද්‍රණ අකුරු වර්ගයට අදාළ තොරතුරු හෙවත් ෆොන්ට් එක ගෙන ගණිත ක්‍රම මගින් විශ්ලේෂණය කර තිරයට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස යවයි. රූප දර්පණය හෙවත් තිරයේ ඇති පරිපථ මගින් එම ධාරාව විශ්ලේෂණය කර බල්බ වලට යවන විද්‍යුත් ධාරාව යම් වෙනසකට ලක් කරයි. එවිට ඇතැම් බල්බ වලින් එන ආලෝකය යම් විපර්යාසයකට ලක් වේ. එම ආලෝකට මිනිස් ඇස තුළට ගොස් එය නැවත විද්‍යුත් ධාරාවක් බවට පරිවර්තනය කරයි. එය මොළය තුළට ගොස් විශ්ලේෂණය වන අතර එය සිත තුළටද ගමන් කර K අකුර ලෙස හඳුනාගනී.

මෘදුකාංග යනු මෙවැනි දෙයක්. ඉහත උදාහරණය මගින් පැහැදිලි කළේ අපි එදිනෙදා සිදුකරනු ලබන සරල සංසිද්ධියක්. එය කොතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද? ඔබ කවදා හෝ එය ගැන සිතා තිබේද?
අපි එදිනෙදා මෘදුකාංග වලින් කරනු ලබන දේවල් පැහැදිලි කිරීමට පොත් ලක්ෂයක් වුවද ප්‍රමාණවත් නොවේ. එහෙත් මෙය කෙතරම් සංකීර්ණ වුවත් ඉතා සරල සිද්ධි සමූහයක එකතුවක්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යන සයෙහි එකතුවක්. මෙම සත්‍ය තේරුම් ගත් අයෙකුට කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් වුවත් තේරුම් ගත හැක.

ඊනියා බටහිර මෘදුකාංග ඉංජිනේරුවන් මෘදුකාංග වර්ගීකරණයට ලක් කරයි. ඒ පිළිබඳව සැවොම දන්නා නිසා මා මෙහි ප්‍රකාශ නොකරමි. ඉහත ඉදිරිපත් කළ පැහැදිලි කිරීම අන්තර්ජාලයේ හෝ කිසිම ග්‍රන්ථයක නැත. මම බුදුදහම හෙවත් බුද්ධියේ ධර්මය භාවිතයෙන් ස්ව අවබෝධ කරගත් ඥානය ඔබ හා බෙදා ගත්තෙමි.

Mahen Samaranayake
(Chairman & CEO at EduCluster)

2 comments:

  1. මහේන් අයියා..බුදු දහමෙන් නව විද්‍යාෙව් අපැහැදිලි තැන් පැැදිලි කරන්න ගත්තට මාගේ උපහාරය...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. මම තවත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete