Tuesday, December 20, 2011

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරට කිසිවක් නොදන්නා බව මා පළමුවෙන්ම කිව යුතුයි.

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය යනු ඉන්දියාවේ පුරාණ සෘෂිවරුන් විසින් සිත දියුණු කර උපදවාගත් ඥානයෙන් සාදාගත් ශාස්ත්‍රයක් බව පොත්පත් වල සඳහන් වුවත් එහි ඉතිහාසය ඊට වඩා වෙනස් දෙයක් වීමටද ඉඩ ඇත. ඊට පෙර ශ්‍රී ලංකාවේ තිබූ ශාස්ත්‍රයක්ද විය හැක. එහෙත් එහි ඉතිහාසය නිසි ලෙස නොදනිමි.

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය උපයෝගී කරගන්නේ සූර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක හා තාරකා පන්ති ඇසුරෙන් යම් දේශයක හෝ පුද්ගලයෙකුගේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන ප්‍රකාශ කිරීමටයි. සමහරු මෙය සත්‍යක් ලෙස පිළිගනිති. සමහරු අසත්‍යක් ලෙස බැහැර කරති. මගේ මතය අනුව මෙහි සත්‍යතාවක් තිබේ.

මගේ මතයට අනුව තාරකා හෝ ග්‍රහලෝක වලින් සිදුවන බලපෑම අඩුය. නමුත් තාරකා සහ ග්‍රහලෝක ඇසුරින් අනාවැකි පල කළ හැකිය. තාරකා සහ ග්‍රහලෝක භාවිත කර ඇත්තේ කාල ගණනය කිරීම් වලට මිසක් ඒවායෙන් බලපෑමක් සිදුනොවන බව මගේ මතයයි. එය හුදෙක් ඔරලෝසුවක් වැනිය. අප ඔරලෝසුවේ ටයිමරය උදේ 5ට සැකසූවිට උදේ 5ට එලාමය නාදවන්නේ ඔරලෝසුවේ කටු නිසා නොවෙයි. එහෙයින් ග්‍රහලෝක වලින් බලපෑමක් නෑ කියා ජ්‍යෝතිෂය ප්‍රතික්ෂේප කිරීම මෝඩකමකි.

නමුත් අද ජ්‍යෝතිෂ ශාස්ත්‍රය වෙනස් වී ඇති බව පැහැදිලිය. විවිධ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෝ විවිධ ප්‍රකාශ කරති. මෙසේ ජ්‍යෝතිෂය විකෘති වී ඇත්තේ පසුකාලීන අදහස් මිශ්‍ර වීම හා විදේශීය ආක්‍රමණ නිසාය. අද නිවැරදි ජ්‍යෝතිෂය කුමක්දැයි සොයාගැනීමටවත් අපහසුය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ නිසා දේශීය පොත්පත් විශාල වශයෙන් විනාශ විණි. කොටසක් ඒ ඒ රටවල් වලටත් යැවිණි. ඒ අතර ජ්‍යෝතිෂයද ඇතුළත්ය.

කුමක් වුවත් අප ජ්‍යොතිෂයේ එල්ලීගෙන නොසිටිය යුතුය. සමහරු සෑම දිනකම නොවරදවා රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් අනාවැකි ඇසීම කණගාටුවකට කරුණකි. එසේ උඩින් පල්ලෙන් අනාවැකි ප්‍රකාශ කිරීම විහිළුවකි. මෙය ගැඹුරු ශාස්ත්‍රයක්. කෙසේ නමුත් ජ්‍යෝතිෂ ශාස්ත්‍රය තව තවත් විකෘති වීමට නොදී එය රැකගැනීම ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන්ගේ යුතුකමකි. ස්වල්පයක් ඉගෙනගෙන අනාවැකි ප්‍රකාශ නොකළ යුතුය. අවුරුදු 20ක්වත් මැනවින් ප්‍රගුණ කළ යුතුය.
අනාවැකි ප්‍රකාශ කිරීමට පෙර ඉන්දියාවේ, ටිබෙටයේ අදටත් සිටින සෘෂිවරුන් හමු වී උපදෙස් ගැනීම නුවණට හුරුය.


Mahen Samaranayake
(Chairman/CEO at EduCluster)

No comments:

Post a Comment